Saturday, January 3, 2015

උසස් පෙළට ICT විෂය තෝරා ගත යුත්තේ ඇයි ?

 

2010 වර්ෂය ශ්‍රී ලාංකීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය සම්බන්ධයෙන් වැදගත් වූයේ අ.පො.ස.(උසස් පෙළ) විෂය ධාරාවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හඳුන්වා දීමයි. විද්‍යා, ගණිත, කලා සහ වානිජ යන විෂය ධාරාවන්ට අයත් විෂයන් දෙකක් සමග හැදෑරිය හැකි වන පරිදි හඳුන්වා දුන් මෙම විෂය 2013 වර්ෂයේ සිට තාක්ෂණ විෂය ධාරාව සමගද හැදෑරීමට හැකි විය.

2011/2012 අධ්‍යයන වර්ෂ සඳහා විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අයදුම් පත් සමග නිකුත් කළ මාර්ගෝපදේශ පොතට අනුව තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල සහ ඒවායේ පැවැත්වෙන තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලා වර්ග හා එකී උපාධි පාඨමාලා සඳහා සපුරා තිබිය යුතු තිබිය සුදුසුකම්ද පහත දැක්වේ.

 

1. තොරතුරු පද්ධති  (Information Systems) පිළිබඳ උපාධිය

ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනාංශය (UCSC)

බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 80

අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර සංඛ්‍යානය, ව්‍යාපාර අධ්‍යයනය, භූගෝලය, තර්කශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය, සංගීතය, සිවිල් තාක්ෂණය, යාන්ත්‍රික තාක්ෂණය, විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණය යන ඕනෑම විෂයන් දෙකක් සමත්වී තිබීම. මීට අමතරව අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් සඳහා සම්මාන සාමාර්ථ තිබිය යුතුය.

උපාධි පාඨමාලා වර්ග දෙකක් ඇත.

i. තොරතුරු පද්ධතිවේදී උපාධිය (Bachelor of Information Systems (BIS)) – වසර 3කි.

ii. තොරතුරු පද්ධති ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය (Bachelor of Science in Information Systems Engineering [BSc(ISE)] )   – වසර 4කි.

 

2. තොරතුරු තාක්ෂණය සහ කළමනාකරණය පිලිබඳ විද්‍යාවේදී උපාධීය (B.Sc. (Hons) Information Technology & Management)

ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: මොරටුව විශ්ව විද්‍යාලය

බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 50

අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර සංඛ්‍යානය, ව්‍යාපාර අධ්‍යයනය, භූගෝලය, තර්කශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය, විෂයන් දෙකක් සමත්වී තිබීම. (ඉන් එක් විෂයකට සම්මාන සාමාර්ථ තිබිය යුතුය.) මීට අමතරව අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් සඳහා සම්මාන සාමාර්ත තිබිය යුතුය.

 

3. පරිගණක විද්‍යා විද්‍යාවේදී උපාධිය (B.Sc. Computer Science)

ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: කොළඹ විශ්ව විද්‍යාලය පරිගණක අධ්‍යනාංශය (UCSC), යාපනය විශ්ව විද්‍යාලය, රුහුණු විශ්ව විද්‍යාලය

බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 240 යි

අවශ්‍ය අවම සුදුසුකම්: සංයුක්ත ගණිතය, උසස් ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව යන විෂයන් දෙකක් සමග තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යන ඕනෑම විෂයන් 3ක් සමත්වී තිබීම. මීට අමතරව අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් සඳහා සම්මාන සාමාර්ත තිබිය යුතුය.

 

4. කළමණාකරණ සහ තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිය (B.Sc. Management & Information Technology (MIT))

ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: කැළණිය විශ්ව විද්‍යාලය

බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 50 යි

අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඇතුළු ඕනෑම විද්‍යා විෂයන් 3ක් සමත්වී සංයුක්ත ගණිතය, උසස් ගණිතය, භෞතික විද්‍යාව යන විෂයන් වලින් එකකට සම්මාන සාමාර්ථ තිබීම.

 

5. පරිගණනය සහ කළමනාකරණ විද්‍යාවේදී උපාධිය (B.Sc. Computation & Management)

ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: පේරාදෙනිය විශ්ව විද්‍යාලය

බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 50 යි

අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග සංයුක්ත ගණිතය හෝ ආර්ථික විද්‍යාව ඇතුළු ඕනෑම විද්‍යා, ගණිත, වානිජ සහ කලා විෂයක් සමත්වී තිබීම.

 

6. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Information and Communication Technology (ICT)) පිළිබඳ විද්‍යාවේදී උපාධිය

ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: රජරට විශ්ව විද්‍යාලය යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපය

බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 150

අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර සංඛ්‍යානය, ව්‍යාපාර අධ්‍යයනය, භූගෝලය, තර්කශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය, සංගීතය, සිවිල් තාක්ෂණය, යාන්ත්‍රික තාක්ෂණය, විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණය යන ඕනෑම විෂයන් දෙකක් සමත්වී තිබීම.

 

7. පරිගණක විද්‍යාව හා තාක්ෂණය (Computer Science and Technology) පිළිබඳ විද්‍යාවේදී උපාධිය

ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය

බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 50

අවශ්‍ය සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, කෘෂි විද්‍යාව ඕනෑම විෂයන් දෙකක් සමත්වී තිබීම.

 

8. කර්මාන්ත තොරතුරු තාක්ෂණය (Industrial Information Technology) පිළිබඳ විද්‍යාවේදී උපාධිය

ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය

බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 50 යි.

අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඇතුළු ඕනෑම විෂය ධාරාවක ඕනෑම විෂයන් දෙකක් සමත්වී තිබීම.

 

9. කළමණාකරණ සහ තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිය (Bachelor of Science in Management and Information Technology (B.Sc. in MIT))

ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය (SEUSL)

බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 80 යි.

අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඇතුළු ඕනෑම විෂය ධාරාවක ඕනෑම විෂයන් දෙකක් සමත්වී තිබීම.

 

10. ව්‍යාපාර තොරතුරු තාක්ෂණය (Business Information Systems (Special))

ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: රජරට විශ්ව විද්‍යාලය

බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 80 යි.

අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, ආරථික විද්‍යාව යන විෂයන්ගෙන් දෙකක් සමත්වී තිබීම.

ඉහත දක්වන ලද තොරතුරු තාක්ෂණ උපාධිවලට අමතරව උසස් පෙළ සඳහා තොරතුරු තාක්ෂණය හදාරන සිසුන් අතරින් විද්‍යා සහ ගණිත විෂය ධාරාවෙන් පෙනී සිටින සිසුනට තම විෂය ධාරාවට අදාළ ප්‍රධාන උපාධී පාඨමාලාවලට සුදුසුකම් (වෛද්‍ය සහ ඉංජිනේරු වැනි) නැති වන අතර කලා සහ වානිජ විෂය ධාරාවෙන් පෙනී සිටින සිසුනට තම විෂය ධාරාවට අයත් සෑම උපාධි පාඨමාලාවකටම සහභාගි විය හැකිය. මීට අමතරව වෙනත් විශේෂ උපාධි පාඨමාලාවලටද සහභාගි විය හැකිය.

Friday, December 26, 2014

උ/පෙළ ICT විෂය නිර්දේශය සංශෝධනය වේ

 

අ.පො.ස. උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ (ICT) විෂය නිර්දේශය, ජාතික අධ්‍යාපන ආයතනය විසින් 2015 වර්ෂයේ හා ඉන් ඉදිරියට පැවැත්වෙන උසස් පෙළ විභාග සඳහා සංශෝධනය කර ඇත.  එය පහතිත් බාගත කර ගත හැක. 

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විශය නිර්දේශය (සංශෝධිත)

Saturday, December 20, 2014

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාව

 

කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාව

විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය මගින් ලබාදෙනු ලබන උපධි පාඨමාලා අතරින් එක් වැදගත් පාඨමාලාවක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාව (Bachelor of Information and Communication Technology) හදුන්වා දිය හැකිය.

මෙම පාඨමාලාව සදහා අ.පො.ස උසස් පෙළ විභාගය පහත විෂ්‍යය ධාරා යටතේ නිමකල සිසුන් අයදුම්කිරීමට සුදුසුකම් ලබයි.

  • විද්‍යා විෂය ධාරව (ගණිත හෝ ජීව විද්‍යා)
  • වණිජ්‍ය විෂය ධාරව
  • කලා විෂය ධාරව (අර්ථික විද්‍යාව ඇතුලත්ව)

පාඨමලාව සදහා අයදුම් කිරීමෙන් පසු අයදුම්කරුවන් කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය මගින් පවත්වන තෝරගැනීමේ පරීක්ෂණයකට ඉදිරිපත්විය යුතුය. මෙයින් සමත්වන හා අවශ්‍ය කඩයිම් ලකුණු සපුරණ සිසුන් 80 දෙනෙකු වසරකට පාඨමාලාව සදහා තොරාගැනේ.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාව තොරතුරු තාක්ෂණය,සන්නිවේදන තාක්ෂණය හා කලමනාකරණය යන විෂය ක්ෂේත්‍ර ආවරණය කරයි.
පාඨමාලාවේ සමාන්‍ය උපධිය වසර තුනකින් පිරිනමන අතර විශේෂ උපධිය සදහා වසර හතරක් සම්පුරණ කල යුතුය.

Tuesday, December 16, 2014

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අමාරු යැයි හිතන්න එපා

 

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය අ.පො.ස. (සා.පෙළ) විෂය නිර්දේශයට ඇතුළත් වූයේ 2006 වර්ෂයේදී. ඒ නිසා මේ විෂය සා.පෙළ ශිෂ්‍යයන්ට තරමක් අලුත්. මෙහි පළමු විභාගය පැවැත්වූයේ 2007 වසරේදී. අලුත් විෂයක් නිසා බොහෝ ශිෂ්‍යයන් බිය වෙනවා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැදෑරීමට. මන්ද A සාමාර්ථයක් ගැනීමට අපොහොසත් වෙයි කියා. බොහෝ දෙනෙක් පරිගණකය තමන්ට හොඳින් භාවිත කරන්නට හැකි යැයි සිතා මේ විෂය තෝරා ගන්නවා. එහෙම හැකියාවක් තිබූ පමණින් මේ විෂයයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම අපහසුයි. අනිත් විෂයයන් හා සන්සන්දනයේ දී මේ විෂයට A සාමාර්ථයක් ගැනීමේ සම්භාවිතාව තරමක් අඩුයි. කෙසේ වෙතත් අපි හරියාකාරව ගුරු අත්පොත් හා පෙළපොත් අධ්‍යයනය කරමින් ‍මා මේ කියන ආකාරයට විභාගයට සූදානම් වුවහොත් ඔබට පහසුවෙන් A සාමාර්ථයක් ලබාගත හැකියි.

 

it-study

අනාගතයට සාර්ථකව මුහුණ දීම සඳහාත් රැකියා වෙළෙඳපොළ සඳහා අවශ්‍ය නව දැනුම ලබාගැනීම සඳහාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයක් ලෙස හැදෑරීම පාසල් දරු දැරියන්ට ඉතා වැදගත්ය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ප්‍රශ්න පත්‍ර 2කින් සමන්විත වේ. 1 වන පත්‍රය සඳහා බහුවරණ ප්‍රශ්න 40ක් ඇති අතර ප්‍රශ්නයකට ලකුණු 1 බැගින් මුළු ලකුණු 40කි. මේ සඳහා කාලය පැය 1ක් ලැබේ. පළමු පත්‍රය සඳහා මුළු විෂය නිර්දේශයේ සෑම ඒකකයක්ම ආවරණය වන පරිදි සැකසේ.

II ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 7කින් සමන්විත වන අතර එයින් පළමු ප්‍රශ්නයට අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයිය යුතු අතර තවත් ප්‍රශ්න 4ක් තෝරා ගැනීමට ඔබට සිදුවෙයි. ඒ අනුව II පත්‍රයට ප්‍රශ්න 7න් 5කට පැය 2ක කාලයක් තුළදී පිළිතුරු සැපයිය යුතුය. මෙහි අනිවාර්ය‍ය පළමු ප්‍රශ්නය කෙටි ප්‍රශ්න 10කින් සමන්විත වේ. ඒ සඳහා 1 වන කොටසට ලකුණු 2 බැගින් ලකුණු 20ක් හිමිවේ.

අනෙකුත් ප්‍රශ්න 4 සඳහා එක් ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් ලකුණු 40ක් හිමිවේ. මේ අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රශ්න පත්‍රයේ පළමු පත්‍රය සඳහා ලකුණු 40කුත් II පත්‍රය සඳහා ලකුණු 60කුත් ලැබෙන අතර මේ දෙකේ එකතුවෙන් අවසන් ලකුණු ගණනය කෙරේ.

II පත්‍රයේ පිළිතුරු පත් ඇගැයීමේ දී පොදුවේ දැකිය හැකි කරුණක් වන්නේ දරුවන් පිළිතුර දැනගෙන සිටිය ද නිවැරැදිව පිළිතුරු ලිවීමට නොදැනීම නිසා බොහෝවිට ලකුණු ගිලිහී යන බවයි.

II පත්‍රයේ පළමු ප්‍රශ්නයට පිළිතුරු ලිවීමට පෙර ඔබ මුළු විෂය නිර්දේශයේ ම අඩංගු කරුණු පිළිබඳ අවබෝධයක් ලබා තිබිය යුතුය. මෙහි කෙටි ප්‍රශ්න 10ට දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ කෙටි හා නිශ්චිත පිළිතුරු පමණි. දීර්ඝ පිළිතුරු සැපයීමෙන් ලකුණු ගිලිහී යනවා පමණක් නොව කාලය ද නිරපරාදේ විනාශ වී යයි. පළමු ප්‍රශ්නයේ සරල ප්‍රශ්න ඇතුළත් වුවත් බොහෝ දරුවන් මේ ප්‍රශ්නයට ද ප්‍රමාණවත් ලකුණු ලබා නොගනී. එසේ වන්නේ නොසැලකිලිමත් බව හා නිශ්චිතව පිළිතුර ලිවීම නිසා ය. එක් කෙටි ප්‍රශ්නයක (a) , (b) යනුවෙන් ප්‍රශ්න‍ කොටස් 2ක් ඇත්නම් පිළිතුරු ලිවී‍ෙ‍ම් දී (a), (b) ලෙස පිළිතුර ද වෙන් වෙන්ව ලිවීමට මතක තබාගත යුතුය.

බොහෝ ශිෂ්‍යයන්ගේ ගැටලුවක් වන්නේ ප්‍රශ්නය පිළිතුරු ලිවීමට පෙර හොඳින් කියවා නොබැලීමයි.

උදා: Bits 7 කින් නිරූපණය කළ හැකි Symbols ගණන කීයද? ගණනය කිරීම් පෙන්වන්න.

මෙහිදී ඇතැම් දරුවන් 128 යනුවෙන් පමණක් පිළිතුරු ලියයි. ප්‍රශ්නයට අනුව ගණනය කරන ආකාරය 27 (2 හි 7 වන බලය) සහ Symbols ගණන 128 ලෙස පිළිතුරට ඇතුළත් විය යුතුය.

graphic and animation software ඇතුළත් ඒකකය දරුවන් වැඩි අවධානයක් යොමු නොකරන කොටසකි. පසුගිය වසරවල ප්‍රශ්න පත්‍ර පිළිබඳ අවධානය යොමු කළ විට පළමු ප්‍රශ්න 10න් එකක් එම කොටසින් දී ඇත. මේ නිසා අමාරු ඒකක යැයි අත නොහැර සෑම ඒකකයක් පිළිබඳවම අවධානයක් යොමුකර පාඩම් කරන්නට ‍මතක තබා ගන්න.

විෂය නිර්දේශයේ සියලු ඒකක හොඳින් අධ්‍යයනය කළ දරුවකුට II පත්‍රයේ පළමු ප්‍රශ්නය සඳහා ලකුණු ලබාගැනීම ඉතා පහසු වෙයි.

ප්‍රශ්න පත්‍රයේ අනිකුත් ප්‍රශ්න සැලකිමේ දී Spreadsheets සහ Algorithms යන පාඩම්වලින් සෑම වසරකම ප්‍රශ්න 2ක් ඇතුළත් වී ඇත.

Spreadsheets පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු ලිවීමේදී අදාළ cell එකෙහි ඇතුළත් කරන formula / function එක පමණක් පිළිතුර සඳහා ලිවීමට මතක තබාගත යුතුයි.

උදා: D6 Cell එක තුළ ලිවිය යුතු Function එක = Sum (D1 : D5) නම්, D6 = Sum (D1 : D5) ලෙස පිළිතුර ලිවීම ඇතැම් දරුවන් කරන වරදකි. එසේ ලිවීමෙන් සම්පූර්ණ ලකුණු අහිමි වී යයි.

එසේම formula / function ලිවීමේදී ‘=’ ලකුණ යෙදීමට මතක තබා ගන්න. cell references ලිවීමේ දී Absolute references (උදා: B $ 6) ලියන අවස්ථා සහ ආකාර දැන සිටිය යුතුය.

Algorithm පිළිබඳ ප්‍රශ්නය දරුවන්ගේ තර්කානුකූලව සිතීමේ හැකියාව මැන බලන ප්‍රශ්නයකි. මෙය බො‍හෝ දරුවන් අමාරු ප්‍රශ්නයක් සේ සලකා කලින්ම අතහැරීමට තීරණය කළ ද මෙය පහසුවෙන් ලකුණු ලබාගත හැකි ප්‍රශ්නයකි.

Flowcharts / Pseudo Codes වල භාවිතා වන Variable names සඳහන් කිරීමේදී Capital letters, Simple letters වල අක්ෂර වින්‍යාසය නිවැරැදිව ලිවීමට මතක තබාගන්න.

උදා: House = house.

එසේම Flow charts අඳින විට නිවැරැදි සංකේත භාවිත කළ යුතුයි.

මෙවැනි ප්‍රශ්නවලට බිය නොවී දී ඇති සිද්ධිය හොඳින් තේරුම්ගෙන පිළිතුරු ලිවීමෙන් පහසුවෙන් ලකුණු ලබාගත හැකිය.

අවසාන ඒකකය වන ‘තොරතුරු තාක්ෂණය සමාජයේ භාවිතය’ ද සෑම වසරකම ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වන ඒකකයකි. මෙම ප්‍රශ්නය සාමාන්‍ය දැනීමෙන් පිළිතුරු සැපයිය හැකි පහසු ප්‍රශ්නයක් සේ පෙනුණ ද ප්‍රශ්නයට විශේෂිත පිළිතුරු බලාපොරොත්තු වන බව දරුවන් මතක තබාගත යුතුය. මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ දී හොඳින් කියවා අවබෝධ කරගෙන, තමා ලියන පිළිතුර ප්‍රශ්නයට අදාළ දැයි තහවුරු කරගෙන පිළිතුර ලිවිය යුතුයි. එසේම විශේෂිත පද (උදා : firewall) පැහැදිලි කිරීම් වලදී එය නිවැරැදිව අවශ්‍ය Key Words යොදා නිර්වචනය කළ යුතු අතර මේවාට බොහෝ විට කොටස් ලකුණු හිමි නොවේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය පරිගණක ආශ්‍රිත ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත විෂයක් වුවද සියයට සියයක් ලකුණු ලැබෙන්නේ ලිඛිත පරීක්ෂණයකින් බැවින් අදාළ න්‍යායාත්මක දැනුම තිබීම අත්‍යවශ්‍ය වේ.

මෙම විෂයේ ප්‍රායෝගික කොටසේ විවිධ මෘදුකාංග භාවිතය පිළිබඳ අන්තර්ගතවේ. මෙහිදී විවිධ කාර්යයන් කිරීමට වි‍ෙශ්ෂිත වූ මෘදුකාංග වර්ගය කුමක්ද යන්න දැනගත යුතු අතර ඒවායේ වෙළෙඳ නාමයන් වැදගත් නොවේ. පිළිතුරු ලිවීමේ දී දරුවන් වෙළෙඳ නාමයන් සඳහන් නොකළ යුතුය.

උදා:- documents සැකසීම සඳහා word processing software, database නිර්මාණය කිරීමට database management Systems යන මෘදුකාංග භාවිතා කරන බව දරුවන් දැනගත යුතුයි. විශේෂිත මෘදුකාංගයක් ආධාරයෙන් යම් කාර්යයක් කිරීමේ පියවර මතක තබා ගැනීම දරුවන්ගෙන් බලාපොරොත්තු නොවේ.

විභාගයට දින කිහිපයක් ඇති බැවින් පසුගිය ප්‍රශ්න පත්‍රවලට නැවත පිළිතුරු ලිවීමෙන් විෂය කෙරෙහි ඔබ තුළ හොඳ විශ්වාසයක් ගොඩනඟාගත හැකිය.

ඔබට මඟහැරී ඇති පාඩම් ඇත්නම් ඒවා පාඩම් කිරීමට දැනටමත් ඇති කාලය ප්‍රමාණවත්ය. මේ කාලය අපතේ නොහරින්න. සම්පූර්ණ කාලයම විභාගය සඳහා සූදානම් වන්න.

පසුගිය වසර පහ තුළ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීමෙන් ප්‍රශ්න සකස් කරන රටාව ගැන ඔබට හොඳ අවබෝධයක් ලබාගත හැකිය.

නැවතත් මතක් කළ යුතු කරුණක් වන්නේ විශේෂයෙන්ම සියලුම ප්‍රශ්න හා උපදෙස් හොඳින් කියවා අවබෝධ කරගෙන ඒ අනුව පිළිතුරු ලිවීමයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන සිසු දරුවන්ට ඒ සඳහා විශිෂ්ට සාමාර්ථ ලබා ගැනීමටත් මේ කියූ උපදෙස් හොඳින් පිළිපදින්න.

 

miss-imalka

ඉමල්කා දිසානායක

දේවි බාලිකා විද්‍යාලයේ තොරතුරු හා

සන්නිවේදන තාක්ෂණ විෂය බාර ආචාරිණී

සැකැසුම - සුභාෂිණී ජයරත්න

ඡායාරූප - විමල් කරුණාතිලක

සිළුමිණ පුවත්පතේ පළ වූ ලිපියකි.

Friday, November 7, 2014

වාණිජ්‍යය විෂයධාරාව සඳහා ICT තෝරාගැනීම

 

වාණිජ්‍යය විෂය ධාරාව සඳහා ලංකාව පුරා ඇති විශ්ව විද්‍යාල සියල්ලක් සඳහාම සිසුන් 4350ක් බඳවා ගනු ලබයි.

  • ගිණුම්කරණය
  • ව්‍යාපාර අධ්‍යයනය
  • ආර්ථික විද්‍යාව

යන විෂයයන් තුනෙන් දෙකක් තෝරා ගත යුතු වන අතර තෙවනි විෂය ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය තෝරා ගැනීමට හැක.

Tuesday, October 14, 2014

කලා විෂයධාරාව සඳහා ICT තෝරාගැනීම

 

කලා විෂයධාරාව හදාරන සිසුන් 5375 ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන අතර, කලා විෂයන් සමග ICT ඉගෙනීමෙන් එම සිසුනට විද්‍යා විෂය ධාරාව හා සමානව ඉදිරියට යාමට මාර්ගය සැලසේ.

මේ සදහා තවත් සමාජීය විෂයයන් දෙකක් සමග තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැදෑරිය හැකිය.

Saturday, September 27, 2014

උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව

 

උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව හැදෑරීම සඳහා තෝරාගත යුතු විෂයයන්

  • තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව (ප්‍රධාන විෂයකි අනිවාර්යෙන් හැදෑරිය යුතුය)
  • ඉංජිනේරු තාක්ෂණවේදය / ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගත යුතුය.
  • තෙවන විෂය ලෙස මේවායින් එකක් තෝරා ගත යුතුය.
    1. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)
    2. ආර්ථික විද්‍යාව
    3. භූගෝල විද්‍යාව
    4. ගෘහ ආර්ථික විද්‍යාව
    5. ඉංග්‍රීසි
    6. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
    7. චිත්‍ර කලා
    8. කෘෂි විද්‍යාව
    9. ගිණුම්කරණය
    10. ව්‍යාපාර අධ්‍යයනය

 

විෂය අන්තර්ගතය කෙටියෙන්

 

තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව -         

ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ජීව රසායන විද්‍යාව, අමුද්‍රව්‍ය හා කර්මාන්ත, ප්ලාස්ටික ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය, සෙරමික්- වීදුරු හා නැනෝ තාක්ෂණය හැඳින්වීම, කාර්මික රසායන විද්‍යාව හා ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත, මූලික ගණිත සිද්ධාන්ත පුනරීක්ෂණ, ත්‍රිකෝණමිතිය, ජ්‍යාමිතිය, මූලික කලනය, විස්තරාත්මක සංඛ්‍යානය, දෛශික හැඳින්වීම, බලය, දෘඩ වස්තුවල සමතුලිතය, ව්‍යාවර්තනය, පීඩනය, නිව්ටන්ගේ නියම, ගුරුත්වාකර්ෂණය, භ්‍රමණ චලිතය, පරිගණක මෘදුකාංග යෙදවුම්, අන්තර් ජාල/ඊ මේල්, දෘඩාංග පිළිබඳ මූලධර්ම, මූලික මෙහෙයුම් පද්ධතිය හා මෙහෙයවීම, අමුද්‍රව්‍යවල ගුණ, තරල ගුණ, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, විද්‍යුත් චුම්බකත්වය,තාපය, තරංග.

 

ඉංජිනේරු තාක්ෂණවේදය -   

සිවිල් ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජි‍නේරු, විදුලි ඉංජිනේරු යන විෂයන් අයත් වෙනවා. ඒ අනුව ඉංජිනේරු තාක්ෂණය, මූලික මෝටර් යාන්ත්‍ර විද්‍යාව, මූලික විදුලි තාක්ෂණය සහ නිවාස වයරින් කිරීම, මූලික ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණවේදය, මූලික නිෂ්පාදන තාක්ෂණය එකලස් කිරීමේ ශිල්ප ක්‍රම, යාන්ත්‍රික ඇඳීම, ඒකක හා මිනුම්, චලනය හා බල සම්ප්‍රේෂණ අංග, තාක්ෂණික කටයුතුවලදී සෞඛ්‍යය හා ආරක්ෂාව, විද්‍යුත් යන්ත්‍ර හා බල පද්ධති, මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා භාවිතය, ගෘහස්ත ජල සම්පාදනය හා ස්වස්ථතාව (සනීපාරක්ෂාව), තරල යන්ත්‍ර, ඉංජිනේරු සම්මත (ප්‍රමිති) බිම් මැනුම්, ඇස්තමේන්තු (නිර්මානය කිරීම හා සැකසීම), ව්‍යවසායකත්වය හා කළමනාකරණය.

 

ජෛව පද්ධති තාක්ෂණය -   

කෘෂිකර්මය, පශු තාක්ෂණය, ආහාර තාක්ෂණය,පසු අස්වනු තාක්ෂණය යන ආදී සංචරක වේ. ජෛව පද්ධිති තාක්ෂණය හැඳින්වීම, ජල විද්‍යාව හා කාලගුණ විද්‍යාව, පාංශු ජල සම්බන්ධතා, ආහාර ආරක්ෂණය හා රෙගුලාසි, පසු අස්වනු තාක්ෂණය, ආහාර ඇසුරුම්කරණය හා ලේබල් කිරීම, ජලයේ ගුණාංග, ආහාර නිෂ්පාදනය, සත්ත්ව නිෂ්පාදන තාක්ෂණවේදය, පැළෑටි සංරක්ෂණය, ජලය පොම්ප කිරීම, බිම් මැනීම, ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා ජෛව පද්ධති සඳහා ඒවායේ භාවිතය.