Friday, December 26, 2014

උ/පෙළ ICT විෂය නිර්දේශය සංශෝධනය වේ

 

අ.පො.ස. උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ (ICT) විෂය නිර්දේශය, ජාතික අධ්‍යාපන ආයතනය විසින් 2015 වර්ෂයේ හා ඉන් ඉදිරියට පැවැත්වෙන උසස් පෙළ විභාග සඳහා සංශෝධනය කර ඇත.  එය පහතිත් බාගත කර ගත හැක. 

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විශය නිර්දේශය (සංශෝධිත)

Saturday, December 20, 2014

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාව

 

කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාව

විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය මගින් ලබාදෙනු ලබන උපධි පාඨමාලා අතරින් එක් වැදගත් පාඨමාලාවක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාව (Bachelor of Information and Communication Technology) හදුන්වා දිය හැකිය.

මෙම පාඨමාලාව සදහා අ.පො.ස උසස් පෙළ විභාගය පහත විෂ්‍යය ධාරා යටතේ නිමකල සිසුන් අයදුම්කිරීමට සුදුසුකම් ලබයි.

  • විද්‍යා විෂය ධාරව (ගණිත හෝ ජීව විද්‍යා)
  • වණිජ්‍ය විෂය ධාරව
  • කලා විෂය ධාරව (අර්ථික විද්‍යාව ඇතුලත්ව)

පාඨමලාව සදහා අයදුම් කිරීමෙන් පසු අයදුම්කරුවන් කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය මගින් පවත්වන තෝරගැනීමේ පරීක්ෂණයකට ඉදිරිපත්විය යුතුය. මෙයින් සමත්වන හා අවශ්‍ය කඩයිම් ලකුණු සපුරණ සිසුන් 80 දෙනෙකු වසරකට පාඨමාලාව සදහා තොරාගැනේ.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාව තොරතුරු තාක්ෂණය,සන්නිවේදන තාක්ෂණය හා කලමනාකරණය යන විෂය ක්ෂේත්‍ර ආවරණය කරයි.
පාඨමාලාවේ සමාන්‍ය උපධිය වසර තුනකින් පිරිනමන අතර විශේෂ උපධිය සදහා වසර හතරක් සම්පුරණ කල යුතුය.

Tuesday, December 16, 2014

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අමාරු යැයි හිතන්න එපා

 

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය අ.පො.ස. (සා.පෙළ) විෂය නිර්දේශයට ඇතුළත් වූයේ 2006 වර්ෂයේදී. ඒ නිසා මේ විෂය සා.පෙළ ශිෂ්‍යයන්ට තරමක් අලුත්. මෙහි පළමු විභාගය පැවැත්වූයේ 2007 වසරේදී. අලුත් විෂයක් නිසා බොහෝ ශිෂ්‍යයන් බිය වෙනවා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැදෑරීමට. මන්ද A සාමාර්ථයක් ගැනීමට අපොහොසත් වෙයි කියා. බොහෝ දෙනෙක් පරිගණකය තමන්ට හොඳින් භාවිත කරන්නට හැකි යැයි සිතා මේ විෂය තෝරා ගන්නවා. එහෙම හැකියාවක් තිබූ පමණින් මේ විෂයයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම අපහසුයි. අනිත් විෂයයන් හා සන්සන්දනයේ දී මේ විෂයට A සාමාර්ථයක් ගැනීමේ සම්භාවිතාව තරමක් අඩුයි. කෙසේ වෙතත් අපි හරියාකාරව ගුරු අත්පොත් හා පෙළපොත් අධ්‍යයනය කරමින් ‍මා මේ කියන ආකාරයට විභාගයට සූදානම් වුවහොත් ඔබට පහසුවෙන් A සාමාර්ථයක් ලබාගත හැකියි.

 

it-study

අනාගතයට සාර්ථකව මුහුණ දීම සඳහාත් රැකියා වෙළෙඳපොළ සඳහා අවශ්‍ය නව දැනුම ලබාගැනීම සඳහාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයක් ලෙස හැදෑරීම පාසල් දරු දැරියන්ට ඉතා වැදගත්ය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ප්‍රශ්න පත්‍ර 2කින් සමන්විත වේ. 1 වන පත්‍රය සඳහා බහුවරණ ප්‍රශ්න 40ක් ඇති අතර ප්‍රශ්නයකට ලකුණු 1 බැගින් මුළු ලකුණු 40කි. මේ සඳහා කාලය පැය 1ක් ලැබේ. පළමු පත්‍රය සඳහා මුළු විෂය නිර්දේශයේ සෑම ඒකකයක්ම ආවරණය වන පරිදි සැකසේ.

II ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 7කින් සමන්විත වන අතර එයින් පළමු ප්‍රශ්නයට අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයිය යුතු අතර තවත් ප්‍රශ්න 4ක් තෝරා ගැනීමට ඔබට සිදුවෙයි. ඒ අනුව II පත්‍රයට ප්‍රශ්න 7න් 5කට පැය 2ක කාලයක් තුළදී පිළිතුරු සැපයිය යුතුය. මෙහි අනිවාර්ය‍ය පළමු ප්‍රශ්නය කෙටි ප්‍රශ්න 10කින් සමන්විත වේ. ඒ සඳහා 1 වන කොටසට ලකුණු 2 බැගින් ලකුණු 20ක් හිමිවේ.

අනෙකුත් ප්‍රශ්න 4 සඳහා එක් ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් ලකුණු 40ක් හිමිවේ. මේ අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රශ්න පත්‍රයේ පළමු පත්‍රය සඳහා ලකුණු 40කුත් II පත්‍රය සඳහා ලකුණු 60කුත් ලැබෙන අතර මේ දෙකේ එකතුවෙන් අවසන් ලකුණු ගණනය කෙරේ.

II පත්‍රයේ පිළිතුරු පත් ඇගැයීමේ දී පොදුවේ දැකිය හැකි කරුණක් වන්නේ දරුවන් පිළිතුර දැනගෙන සිටිය ද නිවැරැදිව පිළිතුරු ලිවීමට නොදැනීම නිසා බොහෝවිට ලකුණු ගිලිහී යන බවයි.

II පත්‍රයේ පළමු ප්‍රශ්නයට පිළිතුරු ලිවීමට පෙර ඔබ මුළු විෂය නිර්දේශයේ ම අඩංගු කරුණු පිළිබඳ අවබෝධයක් ලබා තිබිය යුතුය. මෙහි කෙටි ප්‍රශ්න 10ට දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ කෙටි හා නිශ්චිත පිළිතුරු පමණි. දීර්ඝ පිළිතුරු සැපයීමෙන් ලකුණු ගිලිහී යනවා පමණක් නොව කාලය ද නිරපරාදේ විනාශ වී යයි. පළමු ප්‍රශ්නයේ සරල ප්‍රශ්න ඇතුළත් වුවත් බොහෝ දරුවන් මේ ප්‍රශ්නයට ද ප්‍රමාණවත් ලකුණු ලබා නොගනී. එසේ වන්නේ නොසැලකිලිමත් බව හා නිශ්චිතව පිළිතුර ලිවීම නිසා ය. එක් කෙටි ප්‍රශ්නයක (a) , (b) යනුවෙන් ප්‍රශ්න‍ කොටස් 2ක් ඇත්නම් පිළිතුරු ලිවී‍ෙ‍ම් දී (a), (b) ලෙස පිළිතුර ද වෙන් වෙන්ව ලිවීමට මතක තබාගත යුතුය.

බොහෝ ශිෂ්‍යයන්ගේ ගැටලුවක් වන්නේ ප්‍රශ්නය පිළිතුරු ලිවීමට පෙර හොඳින් කියවා නොබැලීමයි.

උදා: Bits 7 කින් නිරූපණය කළ හැකි Symbols ගණන කීයද? ගණනය කිරීම් පෙන්වන්න.

මෙහිදී ඇතැම් දරුවන් 128 යනුවෙන් පමණක් පිළිතුරු ලියයි. ප්‍රශ්නයට අනුව ගණනය කරන ආකාරය 27 (2 හි 7 වන බලය) සහ Symbols ගණන 128 ලෙස පිළිතුරට ඇතුළත් විය යුතුය.

graphic and animation software ඇතුළත් ඒකකය දරුවන් වැඩි අවධානයක් යොමු නොකරන කොටසකි. පසුගිය වසරවල ප්‍රශ්න පත්‍ර පිළිබඳ අවධානය යොමු කළ විට පළමු ප්‍රශ්න 10න් එකක් එම කොටසින් දී ඇත. මේ නිසා අමාරු ඒකක යැයි අත නොහැර සෑම ඒකකයක් පිළිබඳවම අවධානයක් යොමුකර පාඩම් කරන්නට ‍මතක තබා ගන්න.

විෂය නිර්දේශයේ සියලු ඒකක හොඳින් අධ්‍යයනය කළ දරුවකුට II පත්‍රයේ පළමු ප්‍රශ්නය සඳහා ලකුණු ලබාගැනීම ඉතා පහසු වෙයි.

ප්‍රශ්න පත්‍රයේ අනිකුත් ප්‍රශ්න සැලකිමේ දී Spreadsheets සහ Algorithms යන පාඩම්වලින් සෑම වසරකම ප්‍රශ්න 2ක් ඇතුළත් වී ඇත.

Spreadsheets පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු ලිවීමේදී අදාළ cell එකෙහි ඇතුළත් කරන formula / function එක පමණක් පිළිතුර සඳහා ලිවීමට මතක තබාගත යුතුයි.

උදා: D6 Cell එක තුළ ලිවිය යුතු Function එක = Sum (D1 : D5) නම්, D6 = Sum (D1 : D5) ලෙස පිළිතුර ලිවීම ඇතැම් දරුවන් කරන වරදකි. එසේ ලිවීමෙන් සම්පූර්ණ ලකුණු අහිමි වී යයි.

එසේම formula / function ලිවීමේදී ‘=’ ලකුණ යෙදීමට මතක තබා ගන්න. cell references ලිවීමේ දී Absolute references (උදා: B $ 6) ලියන අවස්ථා සහ ආකාර දැන සිටිය යුතුය.

Algorithm පිළිබඳ ප්‍රශ්නය දරුවන්ගේ තර්කානුකූලව සිතීමේ හැකියාව මැන බලන ප්‍රශ්නයකි. මෙය බො‍හෝ දරුවන් අමාරු ප්‍රශ්නයක් සේ සලකා කලින්ම අතහැරීමට තීරණය කළ ද මෙය පහසුවෙන් ලකුණු ලබාගත හැකි ප්‍රශ්නයකි.

Flowcharts / Pseudo Codes වල භාවිතා වන Variable names සඳහන් කිරීමේදී Capital letters, Simple letters වල අක්ෂර වින්‍යාසය නිවැරැදිව ලිවීමට මතක තබාගන්න.

උදා: House = house.

එසේම Flow charts අඳින විට නිවැරැදි සංකේත භාවිත කළ යුතුයි.

මෙවැනි ප්‍රශ්නවලට බිය නොවී දී ඇති සිද්ධිය හොඳින් තේරුම්ගෙන පිළිතුරු ලිවීමෙන් පහසුවෙන් ලකුණු ලබාගත හැකිය.

අවසාන ඒකකය වන ‘තොරතුරු තාක්ෂණය සමාජයේ භාවිතය’ ද සෑම වසරකම ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වන ඒකකයකි. මෙම ප්‍රශ්නය සාමාන්‍ය දැනීමෙන් පිළිතුරු සැපයිය හැකි පහසු ප්‍රශ්නයක් සේ පෙනුණ ද ප්‍රශ්නයට විශේෂිත පිළිතුරු බලාපොරොත්තු වන බව දරුවන් මතක තබාගත යුතුය. මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ දී හොඳින් කියවා අවබෝධ කරගෙන, තමා ලියන පිළිතුර ප්‍රශ්නයට අදාළ දැයි තහවුරු කරගෙන පිළිතුර ලිවිය යුතුයි. එසේම විශේෂිත පද (උදා : firewall) පැහැදිලි කිරීම් වලදී එය නිවැරැදිව අවශ්‍ය Key Words යොදා නිර්වචනය කළ යුතු අතර මේවාට බොහෝ විට කොටස් ලකුණු හිමි නොවේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය පරිගණක ආශ්‍රිත ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත විෂයක් වුවද සියයට සියයක් ලකුණු ලැබෙන්නේ ලිඛිත පරීක්ෂණයකින් බැවින් අදාළ න්‍යායාත්මක දැනුම තිබීම අත්‍යවශ්‍ය වේ.

මෙම විෂයේ ප්‍රායෝගික කොටසේ විවිධ මෘදුකාංග භාවිතය පිළිබඳ අන්තර්ගතවේ. මෙහිදී විවිධ කාර්යයන් කිරීමට වි‍ෙශ්ෂිත වූ මෘදුකාංග වර්ගය කුමක්ද යන්න දැනගත යුතු අතර ඒවායේ වෙළෙඳ නාමයන් වැදගත් නොවේ. පිළිතුරු ලිවීමේ දී දරුවන් වෙළෙඳ නාමයන් සඳහන් නොකළ යුතුය.

උදා:- documents සැකසීම සඳහා word processing software, database නිර්මාණය කිරීමට database management Systems යන මෘදුකාංග භාවිතා කරන බව දරුවන් දැනගත යුතුයි. විශේෂිත මෘදුකාංගයක් ආධාරයෙන් යම් කාර්යයක් කිරීමේ පියවර මතක තබා ගැනීම දරුවන්ගෙන් බලාපොරොත්තු නොවේ.

විභාගයට දින කිහිපයක් ඇති බැවින් පසුගිය ප්‍රශ්න පත්‍රවලට නැවත පිළිතුරු ලිවීමෙන් විෂය කෙරෙහි ඔබ තුළ හොඳ විශ්වාසයක් ගොඩනඟාගත හැකිය.

ඔබට මඟහැරී ඇති පාඩම් ඇත්නම් ඒවා පාඩම් කිරීමට දැනටමත් ඇති කාලය ප්‍රමාණවත්ය. මේ කාලය අපතේ නොහරින්න. සම්පූර්ණ කාලයම විභාගය සඳහා සූදානම් වන්න.

පසුගිය වසර පහ තුළ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීමෙන් ප්‍රශ්න සකස් කරන රටාව ගැන ඔබට හොඳ අවබෝධයක් ලබාගත හැකිය.

නැවතත් මතක් කළ යුතු කරුණක් වන්නේ විශේෂයෙන්ම සියලුම ප්‍රශ්න හා උපදෙස් හොඳින් කියවා අවබෝධ කරගෙන ඒ අනුව පිළිතුරු ලිවීමයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන සිසු දරුවන්ට ඒ සඳහා විශිෂ්ට සාමාර්ථ ලබා ගැනීමටත් මේ කියූ උපදෙස් හොඳින් පිළිපදින්න.

 

miss-imalka

ඉමල්කා දිසානායක

දේවි බාලිකා විද්‍යාලයේ තොරතුරු හා

සන්නිවේදන තාක්ෂණ විෂය බාර ආචාරිණී

සැකැසුම - සුභාෂිණී ජයරත්න

ඡායාරූප - විමල් කරුණාතිලක

සිළුමිණ පුවත්පතේ පළ වූ ලිපියකි.

Friday, November 7, 2014

වාණිජ්‍යය විෂයධාරාව සඳහා ICT තෝරාගැනීම

 

වාණිජ්‍යය විෂය ධාරාව සඳහා ලංකාව පුරා ඇති විශ්ව විද්‍යාල සියල්ලක් සඳහාම සිසුන් 4350ක් බඳවා ගනු ලබයි.

  • ගිණුම්කරණය
  • ව්‍යාපාර අධ්‍යයනය
  • ආර්ථික විද්‍යාව

යන විෂයයන් තුනෙන් දෙකක් තෝරා ගත යුතු වන අතර තෙවනි විෂය ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය තෝරා ගැනීමට හැක.

Tuesday, October 14, 2014

කලා විෂයධාරාව සඳහා ICT තෝරාගැනීම

 

කලා විෂයධාරාව හදාරන සිසුන් 5375 ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන අතර, කලා විෂයන් සමග ICT ඉගෙනීමෙන් එම සිසුනට විද්‍යා විෂය ධාරාව හා සමානව ඉදිරියට යාමට මාර්ගය සැලසේ.

මේ සදහා තවත් සමාජීය විෂයයන් දෙකක් සමග තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැදෑරිය හැකිය.

Saturday, September 27, 2014

උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව

 

උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව හැදෑරීම සඳහා තෝරාගත යුතු විෂයයන්

  • තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව (ප්‍රධාන විෂයකි අනිවාර්යෙන් හැදෑරිය යුතුය)
  • ඉංජිනේරු තාක්ෂණවේදය / ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගත යුතුය.
  • තෙවන විෂය ලෙස මේවායින් එකක් තෝරා ගත යුතුය.
    1. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)
    2. ආර්ථික විද්‍යාව
    3. භූගෝල විද්‍යාව
    4. ගෘහ ආර්ථික විද්‍යාව
    5. ඉංග්‍රීසි
    6. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
    7. චිත්‍ර කලා
    8. කෘෂි විද්‍යාව
    9. ගිණුම්කරණය
    10. ව්‍යාපාර අධ්‍යයනය

 

විෂය අන්තර්ගතය කෙටියෙන්

 

තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව -         

ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ජීව රසායන විද්‍යාව, අමුද්‍රව්‍ය හා කර්මාන්ත, ප්ලාස්ටික ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය, සෙරමික්- වීදුරු හා නැනෝ තාක්ෂණය හැඳින්වීම, කාර්මික රසායන විද්‍යාව හා ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත, මූලික ගණිත සිද්ධාන්ත පුනරීක්ෂණ, ත්‍රිකෝණමිතිය, ජ්‍යාමිතිය, මූලික කලනය, විස්තරාත්මක සංඛ්‍යානය, දෛශික හැඳින්වීම, බලය, දෘඩ වස්තුවල සමතුලිතය, ව්‍යාවර්තනය, පීඩනය, නිව්ටන්ගේ නියම, ගුරුත්වාකර්ෂණය, භ්‍රමණ චලිතය, පරිගණක මෘදුකාංග යෙදවුම්, අන්තර් ජාල/ඊ මේල්, දෘඩාංග පිළිබඳ මූලධර්ම, මූලික මෙහෙයුම් පද්ධතිය හා මෙහෙයවීම, අමුද්‍රව්‍යවල ගුණ, තරල ගුණ, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, විද්‍යුත් චුම්බකත්වය,තාපය, තරංග.

 

ඉංජිනේරු තාක්ෂණවේදය -   

සිවිල් ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජි‍නේරු, විදුලි ඉංජිනේරු යන විෂයන් අයත් වෙනවා. ඒ අනුව ඉංජිනේරු තාක්ෂණය, මූලික මෝටර් යාන්ත්‍ර විද්‍යාව, මූලික විදුලි තාක්ෂණය සහ නිවාස වයරින් කිරීම, මූලික ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණවේදය, මූලික නිෂ්පාදන තාක්ෂණය එකලස් කිරීමේ ශිල්ප ක්‍රම, යාන්ත්‍රික ඇඳීම, ඒකක හා මිනුම්, චලනය හා බල සම්ප්‍රේෂණ අංග, තාක්ෂණික කටයුතුවලදී සෞඛ්‍යය හා ආරක්ෂාව, විද්‍යුත් යන්ත්‍ර හා බල පද්ධති, මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා භාවිතය, ගෘහස්ත ජල සම්පාදනය හා ස්වස්ථතාව (සනීපාරක්ෂාව), තරල යන්ත්‍ර, ඉංජිනේරු සම්මත (ප්‍රමිති) බිම් මැනුම්, ඇස්තමේන්තු (නිර්මානය කිරීම හා සැකසීම), ව්‍යවසායකත්වය හා කළමනාකරණය.

 

ජෛව පද්ධති තාක්ෂණය -   

කෘෂිකර්මය, පශු තාක්ෂණය, ආහාර තාක්ෂණය,පසු අස්වනු තාක්ෂණය යන ආදී සංචරක වේ. ජෛව පද්ධිති තාක්ෂණය හැඳින්වීම, ජල විද්‍යාව හා කාලගුණ විද්‍යාව, පාංශු ජල සම්බන්ධතා, ආහාර ආරක්ෂණය හා රෙගුලාසි, පසු අස්වනු තාක්ෂණය, ආහාර ඇසුරුම්කරණය හා ලේබල් කිරීම, ජලයේ ගුණාංග, ආහාර නිෂ්පාදනය, සත්ත්ව නිෂ්පාදන තාක්ෂණවේදය, පැළෑටි සංරක්ෂණය, ජලය පොම්ප කිරීම, බිම් මැනීම, ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා ජෛව පද්ධති සඳහා ඒවායේ භාවිතය.

Wednesday, September 17, 2014

තාක්ෂණික විෂයධාරාව සඳහා ICT තෝරාගැනීම

 

තාක්ෂණික විෂය ධාරාව යනු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මෑතකදී එක් වූ, ඉගෙනුම් ක්‍රමවේදයේ නව පෙරළියක් ඇති කල විෂය ධාරාවකි. මෙම විෂයධාරාව සඳහා සිසුන් 2000 කට විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමි වේ. ඒ සඳහා පහත විෂය සංකලන තෝරා ගත හැක.

  • ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය
  • තාක්ෂණවේදය සඳහා විද්‍යාව
  • පහත දැන්වෙන විෂයන් 10 අතරින් එක් විෂයයක්
    1. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
    2. ආර්ථික විද්‍යාව
    3. භූගොල විද්‍යාව
    4. ගෘහ ආර්ථික විද්‍යාව
    5. ඉංග්‍රිසි (අනිවාර්යය විෂයක් වන General English නොවේ)
    6. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය
    7. චිත්‍ර කලාව
    8. ව්‍යාපාර අධ්‍යනය
    9. කෘෂි විද්‍යාව
    10. ගිණුම්කරණය

මෙම විෂය ධාරාව හැදෑරීමෙන් එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් වන තාක්ෂණික කුසලතා සිසුන්ට ලබා දීම, තාත්වික ලෝකයේ ගැටළු වලට විසඳුම් සෙවීමේ හැකියාව සිසුන් තුල වර්ධනය කිරීම හා ශ්‍රම වෙළඳපළට ගැලපෙන කුසලතා සිසුන් තුල වර්ධනය කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.

තාක්ෂණික විෂය ධාරාව හදාරන සිසුන් සඳහා ICT විෂය හැදෑරීම අනාගතයට ඉතා වැදගත් වේ. මන්ද නවීන විද්‍යාත්මක හා තාක්ෂණික කටයුතු සදහා පරිගණක හා පරිගණක මෘදුකාංග බෙහෙවින් උපකාර වේ. ඉංජිනේරු කටයුතු වල දී ඒ සඳහාම විශේෂිත වූ පරිගණක මෘදුකාංග භාවිතා කරන අතර එමගින් මුලික භෞතික ක්‍රියාවලීන් හි ආකෘතීන් සෑදිය හැකි අතර ඒවා සංඛ්‍යාත්මක ක්‍රම මගින් විසදිය හැකි වේ. මෙහිදී අධික වියදමක් දරමින් හා වැඩි කාලයක් ගත කරමින් භෞතික මුලාකෘතින් සෑදීම අවශ්‍ය නොවේ. ඉංජිනේරු වෘත්තිය සදහා පරිගණකය අද වන විට නැතිවම බැරි උපාංගයක් බවට පත්වී හමාරය. ICT විෂය හැදෑරීම මගින් වැඩිම ඉසෙඩ් අගයක් ලබාගනිමින් දිස්ත‍්‍රික්කයේ ප‍්‍රමුඛතම ස්ථානයක් හිමිකර ගැනීමේ අවස්ථාවද පවති. 

Monday, August 25, 2014

ගණිත හා විද්‍යා විෂය ධාරාව සඳහා ICT තෝරාගැනීම

 

ICT සමඟ

  • සංයුක්ත ගණිතය සහ භෞතික විද්‍යාව හෝ රසායන විද්‍යාව
  • ජිව විද්‍යාව සහ භෞතික විද්‍යාව හෝ රසායන විද්‍යාව

හැදෑරීම මගින් පහත පාඨමාලා සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබාගත හැක.

 

Computer Science

මෙම පාඨමාලාව සඳහා සිසුන් 300 ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබයි. සංයුක්ත ගණිතය, උසස් ගණිතය සහ භෞතික විද්‍යාව යන විෂයන් අතරින් අවම වශයෙන් එක් විෂයක් සමඟින් හෝ විෂයයන් දෙකක් සමඟින් පහත ඇති විෂයයන් අතරින් දෙකක් හෝ එකක් තෝරා ගැනීම මඟින් පරිගණක විද්‍යා අංශයට යොමු වීමට අවකාශ ලබා ගැනීමට හැකිය.

  • රසායන විද්‍යාව
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

මෙම විෂය ධාරාව පහත දැක්වෙන විශ්ව විද්‍යාල වලදී ඉගෙනීමේ පහසුකම් සපයයි.

  • කොළඹ විශ්ව විද්‍යාලය
  • යාපනය විශ්ව විද්‍යාලය
  • රුහුණු විශ්ව විද්‍යාලය

 

ව්‍යවහාරික විද්‍යාව

මෙම පාඨමාලාව සඳහා සිසුන් 415 බඳවා ගැනීමට යෝජිතය. මෙම පාඨමාලාවට ඇතුලත් වීම සඳහා සංයුක්ත ගණිතය හෝ උසස් ගණිතය යන විෂයයන් දෙකෙන් එකක්

හා

රසායන විද්‍යාව හෝ භෞතික විද්‍යාව යන විෂයන් දෙකක් එකක් සමඟ පහත දැක්වෙන විෂයයන් අතරින් විෂයක් තෝරා ගැනීමට අවකාශ පවතී.

  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • කෘෂි විද්‍යාව
  • ජීව විද්‍යාව

මෙම පාඨමාලාවන්

  • යාපනය විශ්ව විද්‍යාලය
  • රජරට විශ්ව විද්‍යාලය
  • සබරගමුව විශ්ව විද්‍යාලය
  • වයඹ විශ්ව විද්‍යාලය
  • නැගෙනහිර විශ්ව විද්‍යාලය

යන විශ්ව විද්‍යාල වලදී හැදෑරීමට අවකාශ පවතී.

 

Information and Communication Technology (ICT)

මෙම පාඨමාලාව සඳහා සිසුන් 150 බඳවා ගැනීමට යෝජිතය. මෙම පාඨමාලාවට ඇතුලත් වීම සඳහා පහත දැක්වෙන විෂයන් අතරින් 3ක් තෝරාගත හැකියි.

  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • සංයුක්ත ගණිතය
  • උසස් ගණිතය
  • රසායන විද්‍යාව
  • භෞතික විද්‍යාව
  • ජීව විද්‍යාව
  • ගිණුම්කරණය
  • කෘෂි විද්‍යාව
  • ව්‍යාපාර අධ්‍යයනය
  • ආර්ථික විද්‍යාව
  • භූගොල විද්‍යාව
  • ව්‍යාපාර සංඛ්‍යනය

යාපනය විශ්ව විද්‍යාලය හා රජරට විශ්ව විද්‍යාලයන් හීදී මෙම පාඨමාලාව පැවැත්වේ. මෙම පාඨමාලාව සඳහා එක් වීමට සාමාන්‍ය පෙළ ගණිතයට සහ ඉංග්‍රීසි සඳහා C සාමාර්ථයක් තිබිය යුතු අතර විශ්ව විද්‍යාලයෙන් පවත්වන අභියෝගතා පරීක්ෂණකට (Aptitude) මුහුණ දිය යුතු වේ.

 

සංඛ්‍යා සහ සංකාර්ය පර්යේෂණ

සිසුන් 50 බඳවා ගැනීමට යෝජිත පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පවත්වන මෙම පාඨමාලාව සඳහා එක් වීමට නම්,

සංයුක්ත ගණිතය විෂය සමඟින් පහත දැක්වෙන විෂයයන් අතරින් දෙකක් තෝරා ගැනීමට අවකාශ සැලසේ.

  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • උසස් ගණිතය
  • රසායන විද්‍යාව
  • භෞතික විද්‍යාව
  • ජීව විද්‍යාව
  • කෘෂි විද්‍යාව

Monday, August 4, 2014

උසස් පෙළ විෂයධාරාව නිවැරදිව තෝරාගැනීම

  Select

උසස් පෙළ විෂයධාරාව නිවැරදිව තෝරාගැනීම තම අපේක්ෂිත ඉදිරි අනාගතය සාර්ථක කර ගැනිම සඳහා ප්‍රභලව බලපාන සාධකය වේ. එ බැවින් තම කුසලතා, හැකියාවන්, අරමුණ පාධක කර ගනිමීන් තමාට ගැලපෙන ම විෂය ධාරාව හා එහි විෂය සංකලනයන් තමාම විසින් තම රුචිකත්වය පරිදි නිවැරදිව තෝරා ගත යුතුවේ. මෙහිදී සාම්ප්‍රදායික විෂය මාලාවෙන් මිදී රැකියා වෙළෙද පොළට ගැලපෙන ආකාරයට විෂයයන් තෝරාගනීමට උනන්දු විය යුතුය.

එම තෝරා ගැනිමේ දී විශ්වවිද්‍යාල ප්‍රවේශය පහසු, ඉහල ඉසෙඩ් අගයක් ලබාගත හැකි විෂයයන් විම තවත් වැදගත් කරණක් වේ. තවද පවතින රැකියා ඉල්ලුම හා එම රැකියා සඳහා හිමිවන වැටුප් ප්‍රමාණයන් ද සලකා බැලීම තවත් සුවීශේෂි කාරණයක් වන්නේ රැකියා විරහිත උපාධිධාරින් බහුල ප්‍රමාණයක් ද වාර්ෂික ව රැකියා වෙළඳ පෙළට එකතු වන බැවිනි.

මේ වන විට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැදෑරීමේ අවස්ථාව ලාංකීය සිසු පරපුර වෙත උදාවී තිබේ. අධ්‍යාපන අමාත්‍යංශයේ අංක 2009/16 චක්‍රලේඛයට අනුව කලා සහ වාණිජ්‍ය විෂය ධාරාවන් සමග පමණක් නොව ජෛවීය විද්‍යා විෂය ධාරාව හා භෞතීය විද්‍යා විෂය ධාරාව සමගද විශේෂයෙන් තාක්ෂණික විෂය ධාරාව සමගද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හැදෑරීමට හැකිය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උසස් පෙළ විෂයයක් ලෙස ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන සිසු සිසුවියන් හට පහත දැක්වෙන පරිදි විශ්ව විද්‍යාල වරම් හිමි කර ගත හැකි ප්‍රධාන විෂය ධාරාවන් ගණන පහකි.

  1. ගණිත විෂයධාරාව
  2. විද්‍යා විෂයධාරාව
  3. කලා විෂයධාරාව
  4. වාණිජ්‍යය විෂයධාරාව
  5. තාක්ෂණික විෂයධාරාව

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතුරින් 10ක් පමණ තොරතුරු තාක්ෂණය සම්බන්දව විශාල කාර්ය භාරයක් සිදු කරයි. විශ්වවිද්‍යාලෙයන් (IT) විෂයක් ලෙස හදාරමින් හෝ උපාධිය ලැබෙන විට අවසන් භාගයේ ප්‍රායෝගික පුහුණු කාල සීමාවක් හිමි වේ. උපාධියෙන් පසු අවුරුදු 2ක පළපුරුද්දක් සමඟ MASTERS උපාධියට ප්‍රවේශය ලැබිය හැක. මේ අයුරින් තොරතුරු තාක්ෂණය වැඩිදුර හදාරමින් අධ්‍යාපනික වශයෙන් හා වෘත්තිකයකු ලෙස දිගු ගමනක් යෑමේ හැකියාව ද ඔබට හිමිවනු ඇත.

Friday, July 18, 2014

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු ?

 

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සදහා නිර්වචනයක් ඉදිරිපත් කිරීම අපහසු කාර්යයකි. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය දත්ත සැකසීම හා සන්නිවේදනය සඳහා උපයොගී කරගන්නා වූ තාක්ෂණික ක්‍රමවේදයක් ලෙස සරලව හැදින්විය හැක.

ඇමරිකානු තොරතුරු තාක්ෂණ ආයතනයේ (ITAA) අර්ථ දැක්වීමට අනුව  තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සදහා පහත දැක්වෙන පරිදිද නිර්වචනයක් ඉදිරිපත් කල හැක.

පරිගණක මත පදනම් වූ තොරතුරු පද්ධති, විශේෂයෙන්, මෘදුකාංග හා පරිගණක දෘඩාංග පිළිබද අධ්‍යයනය, සැලසුම් කිරීම, දියුණු කිරීම , ගොඩ නැංවීමට , උදව් කිරීම හා කළමනාකරණයයි. තොරතුරු තාක්ෂණය තොරතුරු පරිවර්තනය කරන , ගබඩා කරන , ආරක්ෂා කරන , සකසන , සම්ප්‍රේෂණය කරන සහ ‍තොරතුරු ආරක්ෂිතව නැවත ලබා දෙන විද්‍යුත් පරිගණක හා පරිගණක මෘදුකාංග සමග සම්බන්ධ වේ.

එනමුත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ක්‍රියාකාරිත්වය මෙසේ පහත දැක්වෙන ලෙස විග්‍රහකල හැක.

පරිගණක තාක්ෂණය හා සන්නිවේදන තාක්ෂණය භාවිතා කරමින් විද්‍යුත් මාධ්‍යයෙන් තොරතුරු රැස් කිරීම, නිර්මාණය කිරීම, කළමනාකරණය කිරීම, ගබඩාකිරීම, සම්පේ‍්‍රෂණය කිරීම හා සම්ප්‍රේෂණය කල තොරතුරු ග‍්‍රහනය කිරීම වැනි කාර්යන් කාර්යක්ෂමව හා පහසුවෙන් සිදුකිරීමට ඇති හැකියාව ලෙස විග්‍රහ කලහැකිය.

එම නිසා පරිගණකය හා ඒ ආශි‍්‍රත උපාංග හා මෘදුකාංග තොරතුරු තාක්ෂණ මෙවලම් ලෙස හැදින්විය හැක.

Monday, June 30, 2014

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය නිර්දේශය

 

A/L ICT විෂය නිර්දේශය පාඩම් මාලා 13 කින් සමන් විත වන අතර අනාගත රැකියා අවස්ථා සඳහා අවශ්‍ය සුදුසුකම් සමත් උපාධිධාරින් නිර්මාණය කිරීමේ අරමුණින් සකස් කර ඇත. මුලීක තොරතුරු තාක්ෂණ පාඩම්මාලා කිහිපයකින් පළමු ඒකක අඩංගු වේ. ක්‍රමලේඛ භාෂා, පරිගණක පද්ධති, පරිගණක ජාලකරණය, දත්තපාදක පද්ධති, විද්‍යුත් ව්‍යාපාර සහ පරිගණක තාක්ෂණයේ නව නැඹුරුතා යන ඒකකයන් විශේෂිත පාඩම් වේ.

පාඩම් ඒකක 13 සහ ව්‍යාපෘති ඒකකය

  1. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප, වර්තමාන දැනුම් මූලික සමාජය තුළ යොදා ගන්නා ආකාරය, එහි භූමිකාව හා උචිත උපයෝගීතාව.
  2. නූතන පරිගණකවල කාර්යසාධනය විස්තර කොට සසඳා බලමින් පරිගණක පරිණාමය ගවේෂණය කිරීම.
  3. පරිගණකයෙහි දත්ත නිරූපනය කරන ආකාරය සහ ඒවා ගණිතමය සහ තාර්කික මෙහෙයුම් සඳහා යොදා ගන්නා ආකාරය විමර්ශනය කිරීම.
  4. මූලික අංකිත පරිපථ සහ උපාංග නිර්මාණය සඳහා තර්ක ද්වාර භාවිත කිරීම.
  5. පරිගණකයක පරිසාධනය වැඩි දියුණු කිරීමට මතක කළමනාකරණය භාවිත කිරීම.
  6. පරිගණකවල සමස්ත ක්‍රියාවලිය කළමනාකරණය කිරීමට මෙහෙයුම් පද්ධති භාවිත කිරීම.
  7. ගැට‍ළු විසඳීමේ ක්‍රියාවලියේ දී පරිගණකයට උපදෙස් ලබා දීම සඳහා පරිගණක ක්‍රමලේඛ භාෂා (Programming Languages) යොදා ගැනීම.
  8. ඵලදායි ලෙස දත්ත හා හඬ සන්නිවේදනය සහ සම්පත් බෙදා ගැනීම සඳහා, දත්ත සන්නිවේදන හා පරිගණක ජාල තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතය ගවේශනය කිරීම. 
  9. දත්ත කාර්යක්ෂමම ලෙස හා ඵලදායි ලෙස කළමනාකරණය කිරීම සඳහා දත්ත පාදක පද්ධතිත් සැලසුම් කර ගොඩ නැගීම.
  10. බහු මාධ්‍යය තාක්ෂණය උපයෝගී කර ගනිමින් වෙබ් අඩවි නිර්මාණය කිරීම.
  11. තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීමෙහි ලා පද්ධති සංකල්පය ගවේෂණය කර ආකෘති පද්ධති විශ්ලේෂණ සහ නිර්මාණ ක්රිම වේදය භාවිත කිරීම.
  12. තරඟකාරී වෙළඳ පොළ සහ ව්‍යාපාරික සංවිධානවලට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යෙදිය හැකි අයුරු ගවේෂණය කිරීම.
  13. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ නව නැඹුරුව සහ අනාගත දිශානතිය ගවේෂණය කිරීම.
  14. ව්‍යාපෘතියක් ලෙස සරල තොරතුරු පද්ධතියක් සැලසුම් කර ක්‍රියාවේ යෙදවීම.

Friday, June 6, 2014

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

 

Intro 

පරිගණක විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ සන්නිවේදන තාක්ෂණය ඒකාබද්ධ වීමෙන් බිහි වූ විෂය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ලෙස හඳුන්වයි. 1940 දශකයේදී පරිගණකය බිහිවීමත් සමග ආරම්භ වී වේගයෙන් සංවර්ධනය වූ මෙම විෂය මිනිසාගේ සියළුම ක්‍රියාවන් හි ඵලදායිතාව ඉහල නංවමින් සමාජ, ආර්ථික හා සංස්කෘතික විප්ලවයක් ඇති කළ විෂයක් බවට පත් වී ඇත. සමස්ථ ලොව ප්‍රමුඛ ස්ථානය අත් කරගැනීමට සමත් වී ඇති මෙම විෂය අන් සියල්ල අභිබවමින් මිනිස් ජීවිතය වෙනත් මගක් ඔස්සේ ගෙන යමින් පවතී. එබැවින් අප වෙසෙන මෙම යුගය තොරතුරු තාක්ෂණ යුගය ලෙස නම් කර ඇත.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නිසා මුළු ලොවම විශ්ව ගම්මානයක් බවට පත් වී හමාරය. මෙහිදී රටවල් හා පුද්ගලයන් අතර සබඳතා ශක්තිමත් කිරීමට තොරතුරු තාක්ෂණය හරහා සිදුවනුයේ අමිල මෙහෙයකි. එලෙස තොරතුරු තාක්ෂණික අංගයෙන් නව මං සොයා යන ඔබට උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) විෂය හැදෑරීමෙන් පරිගණක වෘත්තියවේදියකු වීමට හෝ නව නිමැවුම් කරන්නෙකු වීමට අවස්ථාව ඇත.

ICT යනු හුදකලා විෂයක් නොවේ. එය සෑම ක්‍ෂේත්‍රයකම පැතිරුණු විෂයයකි. උසස් පෙළ විභාගයෙන් බොහෝ පාඨමාලා සඳහා සරසවි වරම් ලැබෙන අතර සරසවි වරම් නොලැබුවත් ඔබට විභාගයෙන් පසුව ඕනෑම ක්‍ෂේත්‍රයක් කෙරෙහි පිවිසීමට හා එය ජයග්‍රහණය කිරීමට ද ICT මහත් උපකාරයකි. විවිධ තාක්‍ෂණ හා ක්‍රමවේද මත ක්‍ෂේත්‍ර ගණනාවකම විහිදුන ලොව විශාලම වෘත්තීමය ක්‍ෂේත්‍රය ICT වී ඇත. වෘත්තීමය ලෙස ICT ඉගෙනීම ඔබට වැදගත් වන්නේ ඒ නිසාය.

අකමැති විෂයයක් තෝරාගෙන අකමැත්තෙන් අමාරුවෙන් හදාරණවාට වඩා කැමති විෂයයක් තෝරාගෙන කැමැත්තෙන් පහසුවෙන් සැහැල්ලුවෙන් ඉගෙන ගනිමින් විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනීම වඩා වැදගත්ය. ICT උසස් පෙළ සඳහා තෝරාගන්නා ඔබට හදාරණ අනෙක් විෂයයන් දෙක සඳහාද වැඩි කාලයක් ඉතිරි වනු ඇත. උසස් පෙලින් පසු මාධ්‍ය, තාක්‍ෂණ, නිර්මාණ ආදී උපාධියක් ලබාගැනීමටත් වඩා හොඳ රැකියාවක් ලබාගැනීමටත් වාසිදායකම උසස්පෙළ විෂය ICT බව මගේ අදහසයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය පරිගණක ආශ්‍රිත ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත විෂයක් වුවද සියයට සියයක් ලකුණු ලැබෙන්නේ ලිඛිත පරීක්ෂණයකින් බැවින් අදාළ න්‍යායාත්මක දැනුම තිබීම අත්‍යවශ්‍ය වේ. නමුත් මේ සඳහා සාමාන්‍ය පෙළ ICT හදාරා තිබීම අත්‍යාවශ්‍ය නැත. අවශ්‍ය වනුයේ මුල සිටම ක්‍රමානුකූලව උසස් පෙළ සඳහා ICT ඉගෙනීමයි.