Friday, June 6, 2014

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

 

Intro 

පරිගණක විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ සන්නිවේදන තාක්ෂණය ඒකාබද්ධ වීමෙන් බිහි වූ විෂය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ලෙස හඳුන්වයි. 1940 දශකයේදී පරිගණකය බිහිවීමත් සමග ආරම්භ වී වේගයෙන් සංවර්ධනය වූ මෙම විෂය මිනිසාගේ සියළුම ක්‍රියාවන් හි ඵලදායිතාව ඉහල නංවමින් සමාජ, ආර්ථික හා සංස්කෘතික විප්ලවයක් ඇති කළ විෂයක් බවට පත් වී ඇත. සමස්ථ ලොව ප්‍රමුඛ ස්ථානය අත් කරගැනීමට සමත් වී ඇති මෙම විෂය අන් සියල්ල අභිබවමින් මිනිස් ජීවිතය වෙනත් මගක් ඔස්සේ ගෙන යමින් පවතී. එබැවින් අප වෙසෙන මෙම යුගය තොරතුරු තාක්ෂණ යුගය ලෙස නම් කර ඇත.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නිසා මුළු ලොවම විශ්ව ගම්මානයක් බවට පත් වී හමාරය. මෙහිදී රටවල් හා පුද්ගලයන් අතර සබඳතා ශක්තිමත් කිරීමට තොරතුරු තාක්ෂණය හරහා සිදුවනුයේ අමිල මෙහෙයකි. එලෙස තොරතුරු තාක්ෂණික අංගයෙන් නව මං සොයා යන ඔබට උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) විෂය හැදෑරීමෙන් පරිගණක වෘත්තියවේදියකු වීමට හෝ නව නිමැවුම් කරන්නෙකු වීමට අවස්ථාව ඇත.

ICT යනු හුදකලා විෂයක් නොවේ. එය සෑම ක්‍ෂේත්‍රයකම පැතිරුණු විෂයයකි. උසස් පෙළ විභාගයෙන් බොහෝ පාඨමාලා සඳහා සරසවි වරම් ලැබෙන අතර සරසවි වරම් නොලැබුවත් ඔබට විභාගයෙන් පසුව ඕනෑම ක්‍ෂේත්‍රයක් කෙරෙහි පිවිසීමට හා එය ජයග්‍රහණය කිරීමට ද ICT මහත් උපකාරයකි. විවිධ තාක්‍ෂණ හා ක්‍රමවේද මත ක්‍ෂේත්‍ර ගණනාවකම විහිදුන ලොව විශාලම වෘත්තීමය ක්‍ෂේත්‍රය ICT වී ඇත. වෘත්තීමය ලෙස ICT ඉගෙනීම ඔබට වැදගත් වන්නේ ඒ නිසාය.

අකමැති විෂයයක් තෝරාගෙන අකමැත්තෙන් අමාරුවෙන් හදාරණවාට වඩා කැමති විෂයයක් තෝරාගෙන කැමැත්තෙන් පහසුවෙන් සැහැල්ලුවෙන් ඉගෙන ගනිමින් විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනීම වඩා වැදගත්ය. ICT උසස් පෙළ සඳහා තෝරාගන්නා ඔබට හදාරණ අනෙක් විෂයයන් දෙක සඳහාද වැඩි කාලයක් ඉතිරි වනු ඇත. උසස් පෙලින් පසු මාධ්‍ය, තාක්‍ෂණ, නිර්මාණ ආදී උපාධියක් ලබාගැනීමටත් වඩා හොඳ රැකියාවක් ලබාගැනීමටත් වාසිදායකම උසස්පෙළ විෂය ICT බව මගේ අදහසයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය පරිගණක ආශ්‍රිත ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත විෂයක් වුවද සියයට සියයක් ලකුණු ලැබෙන්නේ ලිඛිත පරීක්ෂණයකින් බැවින් අදාළ න්‍යායාත්මක දැනුම තිබීම අත්‍යවශ්‍ය වේ. නමුත් මේ සඳහා සාමාන්‍ය පෙළ ICT හදාරා තිබීම අත්‍යාවශ්‍ය නැත. අවශ්‍ය වනුයේ මුල සිටම ක්‍රමානුකූලව උසස් පෙළ සඳහා ICT ඉගෙනීමයි.

No comments:

Post a Comment